November 22, 2017

වැලිගම මහනාහිමියෝ අපවත් වෙති ආදාහන පූජෝත්සවය 22දා

By admin - Mon Jan 20, 3:49 am

thero
අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත විනය විශාරද ධර්මකීර්ති ශ්‍රී රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ශ්‍රී ඤාණරතන මහානායක මාහිමියෝ අවුරුදු එකසිය එකක් (101) ආයු වළඳා ඉකුත් 17දා අපවත් වී වදාළ සේක.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිත 22 වැනි බදාදා පස්වරු 3ට ගල්කිස්ස මහජන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට විහාරස්ථ දායක සභාව ඇතුළු ශිෂ්‍ය පිරිස කටයුතු යොදා ඇත.

මහානායක මාහිමිගේ ශ්‍රී දේහය දැනට රත්මලාන මල්ලිකාරාම විහාරස්ථානයේ මහජන ගෞරව සඳහා තැන්පත් කර ඇත.

……
1913 ඔක්තෝබර් මස 14දා ජන්මලාභය ලැබූ ඤාණරතන නාහිමියෝ වැලිගම තල්පේ නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී 1925 නොවැම්බර් 30 වැනිදා ප්‍රවුජ්ජාභූමියට පත්වූහ.

උන්වහන්සේ උතුම් වූ උපසම්පදාව ලැබුවේ 1933දීය.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහා ලේඛකාධිකාරී ධූරයට පත්වූ උන්වහන්සේ අමරපුර මහා සාමග්‍රී සංඝ සභාව ඇරැඹීමට පුරෝගාමී වූහ.

දෙස් විදෙස් විහාරාරාම බොහොමයක් ඉදිකැරවීමට දායක වූ ඤාණරත්න නාහිමියෝ ධර්ම,ශාස්ත්‍රී ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක කර්තෘවරයාණෝද වෙති.

බුදු සසුනට ඉෂ්ටසිද්ධ කළ සේවයට උපහාර පිණිස උන්වහන්සේට බුරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පුද කෙරිණ.

වැලිගම ඤාණරතන මහනාහිමියෝ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද හිමිකරගත්හ.රත්මලාන මල්ලිකාරාමයේ වැඩහිඳිමින් බුදු සසුනට කුලදරුවන් රැසක් පැවිදි කළ උන්වහන්සේ විදෙස් රටවල් ගණනාවක ධර්මදූත සේවයේද යෙදුණාහ.

Leave a Reply