November 17, 2017

අස්ගිරි මහ නා හිමි 85 වන ජන්ම දිනයට ජනපතිගෙන් ශුභාශිංසන

By admin - Mon Mar 17, 7:32 am

Asgiri_copy
සියම් මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහ නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 85 වන ජන්ම දිනය අදට (17) යෙදී ඇත.

පුරා හැට නව වසරක් මුළුල්ලේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පතා සියලු නිකායන්හි ගෞරවනීය වූ මහ සඟරුවන සමගින් එක්ව හරවත් යමක් සමාජයට දායාද කරන්නට අස්ගිරි මහනායක මාහිමිපාණන් වහන්සේ නිරන්තරයෙන් ගන්නා උත්සාහය අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතියේ නාමයෙන්, රටේ අනාගත පරපුරේ නාමයෙන් ශ්‍රී විභූතිය උදෙසා කරනු ලබන ජාතික කර්තව්‍යයන්වලදී ඒ ස්ථානයන් කරා තමන් වහන්සේගේ ශරීර සෞඛ්‍ය ගැන ද නොසිතමින් අස්ගිරි මහනාහිමියන් වැඩම කර ආශිර්වාදයන් එක් කිරීම, තමන් පරම පූජනීයත්වයෙන් අපේක්ෂා කරන අසිරිමත් දිරියක් බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටී.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටින්නේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අස්ගිරි මහා විහාරය, විජයසුන්දරාරාමය, රංගිරි දඹුලු රජමහා විහාරය යන විහාරත්‍රයාධිපති, මහෝපාධ්‍යාය, අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අදට (17) යෙදෙන 84 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමිනි.

දශක තුනක් පුරා ගිනිගනිමින් බියෙන් ඇළලී ගිය දේශය, ඉන් මුදාගෙන සතර දිග්භාගයේම වෙසෙන සියලු ජාතීන්ට නිදහස්ව නිවහල්ව වාසය කරන්නට අවැසි පරිසරය උදාකර ගැනීම සඳහා තමන් ඇරඹූ දැවැන්ත වැඩපිළිවෙළට අස්ගිරි මහනාහිමියන් වහන්සේ නිරන්තරයෙන් ආශිර්වාද පළ කිරීමත්, තමන්ව දිරිමත් කිරීමත් පින් සිත් පෙරදැරිව සිහිපත් කරන බව ජනාධිපතිතුමාගේ ශුභාශිංසන පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

දහම් දැනුමෙන් පරිපූර්ණව, දැන උගත් හෙළයේ මහා පඬිරුවනක් ලෙසින් අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ, මතු සඟ පරපුරට දෙනු ලබන උතුම් ආදර්ශය වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් අගනා බවත් ජනාධිපතිතුමා සඳහන් කර සිටී.

“මිනිසා භෞතික වශයෙන් පමණක්ම නොව, ආධ්‍යාත්මික වශයෙන් ද ගොඩනැගීම සඳහා පුද්ගලයාට ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ද ලබා දිය යුතුය” යන්න තේමා කර ගනිමින් මීට වසර නවයකට පෙරාතුව මේ රටේ අනාගත සුරක්ෂිතතාවයත්, සිල්වත් සාදු ජන සමාජයත් ඇති කරලීම වෙනුවෙන් තමන් දුටු ඒ සුබ සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා සැමවිටම අස්ගිරි මහනාහිමියන් වහන්සේගෙන් ලද අවවාද අනුශාසනා මහා පිටිවහලක් වූ බව සමස්ත ජාතියේ ම උත්තුංග පූජෝපහාරයක් පිරිනමමින් ජනාධිපතිතුමා සිය ශුභාශිංසන පණිවුඩය ඔස්සේ තවදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply