November 22, 2017

අමෙරිකානු තානාපතිනිය හා මහනාහිමියන් අතර හමුවක්

By admin - Fri Apr 04, 8:38 am

7547578674 (1)
මෙරට අමෙරිකානු තානාපතිනි මිචෙල් ජේ. සිසන් මහත්මිය මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ අද (04) පෙරවරු‍ෙව් බැහැදැක තිබේ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මහනායක හිමියන් වෙත සුබ පැතුම් එක් කිරීමේ අරමුණුන් අමෙරිකානු තානාපතිවරිය මෙම සංචාරයේ නිරත වී ඇතැයි සඳහන්ය.

අමෙරිකානු තානාපතිවරිය, මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව උන්වහන්සේ සමග පැය කිහිපයක සාකච්ඡාවක ද නිරත වී තිබේ.

එහිදී අදහස් දක්වා ඇති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර විදේශයන් වෙතයාමේ තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

එවැනි අසත්‍ය කරුණු පිළිබඳව අවධානයෙන් සිටිමින් එම කරුණුවල සත්‍යතාව සොයාබැලීම වැදගත් බව මහනායක හිමියන් අමෙරිකානු තානාපතිවරිය සමග පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේ විසින් වෙනත් ආගම්වලට විවිධ අකටයුතුකම් සිදුකරන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.

ඕනෑම ආගමක යම් යම් ආකාරයෙන් කටයුතු සිදුකරන පිරිස් සිටිය හැකි බව සඳහන් කර ඇති මහනායක හිමියන් පෙන්වා දී ඇත්තේ සුළු පිරිසක් හේතුවෙන් සමස්ත ප්‍රජාවම එවැනි කටයුතු සිදුකරන බවට හෝ එවැනි කටයුතු අනුමත කරන බවට ප්‍රකාශ කළ නොහැකි බවයි.

මහනායක හිමියන්ගේ අදහස්වලට තමන් ගරු කරන බව සාකච්ඡාවේදී අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිනි මිචෙල් ජේ.සිසන් මහත්මිය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා අමෙරිකානු රජය විසින් ලබාදෙන සහයෝගය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ලබාදෙන බව තානාපතිවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply