November 17, 2017

ඔස්ට්‍රේලියානුවන් බුදු දහම වැළඳ ගැනීමේ ශීඝ්‍ර වර්ධනයක්

By admin - Mon Jun 16, 8:55 am

DSC6325a4r-sm
ඔස්ට්‍රේලියානුවන් බුදු දහම වැළඳ ගැනීමේ ශීඝ්‍ර වර්ධනයක්
සුභාෂිණී ‍සේනානායක
ඔස්ට්‍රේලියන් ජාතිකයන් ශීඝ්‍රයෙන් බුදුදහම වැළඳ ගනිමින් සිටින බවත් බුදු දහම තුළ සතුටින් සිටීමේ රහස ගැබ් වී ඇති බවත් ඔස්ට්‍රේලියන් ජාතික අජාන් බ්‍රහ්ම වංසො හිමියන් පවසති.

සැම විටම සතුටින් සිටීම තුළින් නිරවුල් මනසක් ඇති කර ගත හැකි බවත් ඔස්ට්‍රේලියාවේ බුදුදහම ප්‍රචාරණය කිරීම සඳහා තමන් වහන්සේගේ සිනහව වෙළඳ ලකුණක් ලෙස භාවිතා වන බවත් උන්වහන්සේ කියා සිටිති.

තමන් නිවැරැදිව සිටියදී යම් අයකු බැණ විදින්නේ නම් ඉවසීම ප්‍රගුණ කරමින් ඉවසීමට පුරුදු වන ලෙසත් එලෙස බැණ වදින පුද්ගලයා යම් මානසික තත්ත්වයකින් සිටින බව අවාබෝධ කර ගන්නා ලෙසත් පවසන ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාව බුදු දහම ස්ථාපිතව පවතින රටක් ලෙස අපරාධ අවම මට්ටමක තබා ගැනීමට බෞද්ධයන් පෙරමුණ ගත යුතු බවත් පවසති.

යම් පවුලක මාපියන් තම දරුවන් පළමු වැනියා කරවීමට උත්සාහ ගනිමින් දරුවන් තලා පෙලා දමන්නේ නම් එය නිවැරැදි නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ සෑම දරුවකුටම පළමුවැනියා විය නොහැකි බවත් දරුවාට සාරධර්ම සමගින් සිනහවෙන් සිටීමටත් සතුටින් ජීවිතයට මුහුණ දීමට පුරුදු කරවීමත් මාපියන් කළ යුතු බවත් පෙන්වා දෙති.

තමන්ට අනවශ්‍ය දෙයක් සිදුවීමේදී එය හොඳටද නරකටද සිදුවන්නේ බව කිසිවකුට කිව නොහැකි බව පෙන්වා දෙන අජාන් බ්‍රහ්ම වංසෝ හිමියන් ඇතැම් විටක එය හොඳකට වන දෙයක් ලෙසද සිදුවීමෙන් පසුකලෙක අවබෝධ විය හැකි බව පෙන්වා දෙයි. උන්වහන්සේ සෑම විටකම සිනහවෙන් සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දීමෙන් සිදු විය හැකි අනතුරු අවම කරගත හැකි බව පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ ජනතාව නිරන්තරයෙන් සිනහවෙන් යුතු කොටසක් බවත් බුදුදහම ජීවිතයට ලංකර ගැනීමෙන් ලබා ගත හැකි නිවන් සුවය ඉක්මනින් ජීවිතයට එක්කර ගන්නා ලෙසත් දිවයිනට වැඩම කළ උන්වහන් සේ පැවසුවේ පසුගිය පොසොන් පොහොයදා (12) මහරගම භික්ෂු මධ්‍යස්ථානයේ පැවැති ධර්ම දේශනයකට එක් වෙමිණි.

Leave a Reply