November 19, 2017

අතීතියේ නැගෙනහිර බුදු සසුනේ පිපිදීම යලි සනිටුහන් කරයි.

By admin - Mon Nov 10, 4:25 am

bd1d437a3c4b712c15e689a07dbda725_XL
අම්පාර දිස්ත‍්‍රික්කයේ හෙනන්නේගල දාගැබ සංරක්‍ෂණය කිරීමෙන් පසු සසුනට පූජා කිරීමේ උත්සවය පසුගිය දින සිදු කෙරිණි.

අම්පාර දිස්ත‍්‍රික්කයේ හෙනන්නේගල සංඝාරාමය පිහිටා ඇත්තේ මාදුරු ඔය රක්‍ෂිතය තුළය. යුදමය වාතාවරණයක් පැවති වකවානුවේ හෙනන්නේගල පැරණි සංඝාරාමය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ කඳවුරක් ස්ථාපිත ව තිබූ තැනකි. පර්වතය තරමක් තරණය කළ පසු හමුවන ගඩොලින් තැනූ කුඩා දාගැබක් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට යොමු වූයේ මෙය අනුරාධපුර අවධියේ මුල් භාගයට අයත් වීමත් එම අවධියට අයත් දාගැබේ සාධක ගර්භයේ මුදුන් මට්ටම දක්වා ම මැනවින් ආරක්‍ෂා වී පැවතීමත් නිසාය.

එතරම් පැරණි දාගැබක සම්පූර්ණ ගර්භයේ සැලැස්ම මැනවින් ආරක්‍ෂා වී තිබුණේ එම දාගැබ ස්වභාවික ගල් ලෙනකට ආවරණය වී පැවතීම නිසාය. අව් වැසි සුළඟින් වන උපද්‍රව අවම වීම හේතුවෙන් දැගැබෙහි පුරාණ කපරාරුව පවා ඇතැම් තැන්වල ශේෂ ව පැවතුණි. එහෙත් අවාසනාවකට දාගැබේ සමස්ත හැඩය හඳුනාගත නො හැකි වන පරිදි නිධන් සොයන්නන් විසින් ගර්භය තුළට විශාල බෙනයක් මෙන් හාරා තිබුණි.

විහාරාධිපති ගෝනවල සුදස්සිලංකාර ස්වාමීන් වහන්සේ මෙම දාගැබ සංරක්‍ෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දාගැබේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කරන ලදී. මේ සඳහා ඇතුල්කෝට්ටේ ඉංජිනේරු ජයන්ත සමරසිංහ මහතා සිය පෞද්ගලික ධනය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. එපමණක් නොව ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම සංරක්‍ෂණ කාර්යය සිදුකරන වකවානුව මුළුල්ලේ අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරමින් වනය තුළ දිවි ගෙවීය.

සංරක්‍ෂිත දාගැබ ආසන්නයේ පර්වත මුදුනේ ප‍්‍රාථමික ගුහා චිත‍්‍ර නමින් පුරාවිද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන චිත‍්‍ර රාශියක් ද දක්නට ලැබේ. මීට අමතර ව ගල් ලෙන් රාශියක් ද මෙම ස්ථානයේ දක්නට ලැබෙන අතර ගඩොලින් තැනූ එක් ලෙන් කුටියක් මැනවින් සුරක්‍ෂිත ව පවත්නේය. මෙම සංඝාරාමය මුලින් ම ප‍්‍රභවය වූයේ ක‍්‍රිස්තු පූර්ව 3 වන සියවසත් ක‍්‍රිස්තු වර්ෂ 1 වන සියවසත් අතර බව මෙම ස්ථානයේ ඇති පූර්ව බ‍්‍රාහ්මී සෙල්ලිපිවලින් තහවුරු වේ.

Leave a Reply