October 21, 2017

තමිල්නාඩුවේ බුදු දහම ගැන අලුත්ම සොයාගැනීමක්.

By admin - Tue Sep 01, 5:33 am

150831102210_buddha_stachu_india_512x288_bbc_nocredit
ඓතිහාසික වශයෙන් වැදගත් පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ සිදු කළ කැණීම් කටයුතුවලින් සොයා ගත් බව ඉන්දීය පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායමක් පවසයි.

බුද්ධ ප්‍රතිමාවේ බාහිර ස්වරූපය සහ සංකේතාත්මක වටිනාකම දෙස අවධානය යොමු කොට බැලීමේදී ප්‍රතිමාව දහවන සියවසට අයත් බව නිගමනය කළ හැකි බවයි පුරාවිද්‍යා කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය පාන්ඩ්ය සාන්තලිංගම් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ.

මෙම ප්‍රදේශයේ මීට පෙර සිදු කළ කැනීම් කටයුතු වලදී ජෛන ආගමට අයත් පෞරාණික ප්‍රතිමා රැසක් හමු වී තිබේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයෙන් බුද්ධ ප්‍රතිමාවක් හමුවූ පළමු අවස්තාව මෙය බවයි ආචාර්ය පාන්ඩ්ය සාන්තලිංගම් කියා සිටියේ.
නම වන සහ දහ වන සියවස අතරතුර කාලයේ දකුණු ඉන්දියාවේ ජෛන ආගම ප්‍රචලිතව පැවති නමුත් බුද්ධාගමත් ඊට සමගාමීව පවතින්නට ඇති බව මෙමගින් විශ්වාස කළ හැකි බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

පද්මාසනයක් මත ධ්‍යාන ගත වී සිටින ආකාරය දැක්වෙන අඩි තුනක් පමණ උසැති ශෛලමය බුද්ධ ප්‍රතිමාව සම්පූර්ණයෙන් නිම කොට නොමැති බව දක්නට හැකි බවත් ඔහු සඳහන් කළේය.

බුද්ධ ප්‍රතිමා ශීර්ෂයේ කේශාලංකාරය සහ දෑසෙහි නෙළීම් කටයුතු සම්පූර්ණ කොට නොමැති බව පවසන පුරාවිද්‍යා ආචාර්යවරයා ඊට හේතුව වශයෙන් දක්වන්නේ කම්මුල ප්‍රදේශයේ දක්නට ලැබෙන පලුදු ස්ථානයක්.

එම පලුද්ද හේතුවෙන් නෙලීම් කටයුතු සම්පුර්ණ නොකොට බුද්ධ ප්‍රතිමාව ඉවත දමන්නට ඇති බවත් ආචාර්ය පාන්ඩ්ය සාන්තලිංගම් කියා සිටියි.

තෙනි දිස්ත්‍රික්කයේ ආන්ඩිපාට්ටි ප්‍රදේශයෙන් හමු වූ අනෙකුත් පෞරාණික ප්‍රතිමාද නව වන සහ දහවන සියවසට අයත් බවයි ඔහු සඳහන් කළේ.

බී.බී.සී

Leave a Reply