November 22, 2017

වසර 18ක් මාර්ගයකට යටවී තිබූ දිගම පෙත්මඟ පබ්බත විහාරයෙන් හමුවේ

By admin - Wed Sep 25, 3:29 am

අනුරාධපුර පූජා නගරයේ තොම්විල පබ්බත විහාරස්ථාන පුදබිමේ සිදු කරනු ලබන කැණීම් වලදී මෙතෙක් සොයාගෙන ඇති ලංකාවේ දිගම පෙත්මඟ ඇතුළු පුරාණ නටබුන් රැසක් හමුවෙමින් පවතී. අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අනුරාධපුර නගරයේ මාකට් පෙදෙසට ආසන්නව මෙම පෞරාණික වටිනාකමින් යුත් පුදබිම පිහිටා ඇත. ජනතාව මේ ස්ථානය රාම කැලය මාළිගය නමින් ද හඳුන්වයි.

වසර දහ අටකට (18) වැඩි කාලයක් ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා තොළුවිල පබ්බත විහාරස්ථාන පුදබිම හරහා ඉදිකළ මාර්ගයට යටව තිබූ මීටර් දෙසියක (200m) පමණ දිගින් යුතු පබ්බත විහාර පෙත්මඟ මෙහි පෙත්මං දෙකක් අතර පිහිටා ඇති අලංකාර තාරකා හැඩති පීඨිකා‍වක් සිදු කරනු ලබන පුරාවිද්‍යා කැණීම් වලදී හමුවී තිබේ.

අක්කර තිස්පහක (35) පමණ භූමි ප්‍රමාණයකින් යුත් පබ්බත විහාර සංකීර්ණය අනුරාධපුර යුගයේ (ක්‍රි.ව. 7 – 10 සියවස්වල) ඉදිවන්නට ඇතැයි සැලකේ. මේ ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශාගතව පිහිටා තිබේ.

එසේම කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉදිරිපස තැන්පත් කර ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය ද තැන්පත් කොට තිබුණේ මේ විහාර බිමෙහිය. තවද විශාල කුළුණු සහිත මහල් දෙකකින් යුත් උපෝසථාඝරය, ස්තූපය, බෝධිඝරය, පිළිමගෙය, ආරාම වටා ඇති දිය පොකුණු ආදී නටබුන් රැසක් මෙහි දැක ගත හැක.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පසුගිය අප්‍රේල් මස තොළුවිල පබ්බත විහාර පුදබිම සංරක්ෂණ කටයුතු ආරම්භ වූ අතර එහි කටයුතු මේ වසර අවසන්වන විට නිමකිරීමට අපේක්ෂිතය. අනුරාධපුර නැඟෙනහිර නුවර ගම් පළාත් පුරාවිද්‍යා කලාප භාර ඩබ්ලිව්.එම්.එන්. ප්‍රියදර්ශනී මහත්මියගේ අධීක්ෂණය යටතේ සංරක්ෂණ කටයුතු මේ අනුව සිදු කරයි. මේ සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ පහළව (1500000) කි.

මේ වන විට පබ්බත විහාර පෙත්මඟෙහි සංරක්ෂණ කටයුතු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරන අතර පුදබිමෙහි නඩත්තු කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. කලක් කැලයන් වැසී තිබූ මේ පුදබිමෙහි පුරාවස්තු නිදන් හොරුන්ගේ ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්ව ඇති අතර මෙහි නොයෙක් නීති විරෝධී ක්‍රියාවන්ද සිදු විය.

එලෙස පැවති පෞරාණික වටිනාකමින් යුත් මෙම තොළුවිල පබ්බත විහාර සංකීර්ණය යළි සංරක්ෂණය කරමින් අනාගත පරපුරට දායාද කිරීමට මේ අනු පියවර ගෙන ඇතැයි පුරාවිද්‍යා නිලධාරිනී ඩබ්ලිව්.එම්.එන්. ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය. මෙම තොළුවිල පබ්බත විහාර සංකීර්ණ පුදබිම මිහිඳු මාහිමියන් මිහින්තලයේ සිට අනුරාධපුර මහා විහාරය දක්වා වැඩම කරන විට නවාතැන් ගත් ස්ථානයක් ලෙස ද මහා වංශයේ සඳහන් වේ.
pethgama

Leave a Reply